2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

එක්ස්ප්‍රස් ජීවිතේ නවාතැන් පොළ ඔබමයි...

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 169

දියුණුව යනු කුමක්ද යන්න ගැන විසල් විවාද පවතී. කෙසේවුවත් සාමාන්‍ය පෘථග්ජන මිනිසා දියුණුව ගැන සිතනවිට වැඩි බරක් තබන්නේ භෞතික සම්පත් කෙරෙහිය. මනුෂ්‍ය උපතේ පටන්ම ගොඩනැගී ඇති සියලු සමාජ සංස්ථා මඟින් තල්ලු කෙරෙන්නේ ද එකී දියුණුව පැත්තටය. පවතින වෙළෙඳපොළ තර්කනය තුළ එකෙකු පරයා නැගී සිටිමින් භෞතික දියුණුව පසුපස හඹායද්දී මිනිසා තරගයට වැටෙන්නේ නිතැතිනි. අපිස්බව පරයන සැහැසිබව එහි අනිවාර්ය දායාදයයි. මෙම සමාජ අභියෝගය වැඩි වශයෙන් දැනෙන පිරිස වන්නේ තාරුණ්‍යයි.

තරුණයා යනු ලාභය පසුපසම පන්නාගෙන යන විවෘත වෙළෙඳපොළ තුළ කර්මාන්තහිමියන්ගේ මූලිකම ඉලක්කයයි. ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල විශේෂයෙන්ම ආසියාකරයේදී තරුණයා පත්වන්නේ අධික ලෙස පවතින ශ්‍රම සම්පත තුළ ලාබදායී සාධකයක් බවටය. මේ නිසා ආර්ථික සමෘද්ධිය අත්පත් කරගැනීමේදී අතිශය දුෂ්කර කොන්දේසි යටතේ සිය ජීවන පැවැත්ම වෙනුවෙන් තරග කරන්නට ඔහුට සිදුවේ. දිනෙන් දින වසරෙන් වසර උත්සන්න වන මෙකී අනවරත අරගලය විසින් තාරුණ්‍ය මත පතිත කරනුලබන පොදු පණිවුඩයකි. ඒ කුමක්ද? හැකිතරම් තරග කරපන්.. හැකිතරම් පරාද කරපන්.. හැකිතරම් හම්බ කරපන්.. යන්නයි. ඒ වැලිවු ඇඩඩ් ජීවිතයක් (අගය එකතු කරන ලද) වෙනුවෙනි. මේ අගයෝ වනාහි සමාජ ආචාර ධර්මයන්ගේ හෝ මානව ශිෂ්ටසම්පන්නභාවයේ අගයෝ නොවෙත්. සේරිවාණිජකරණයේම අගයෝ වෙත්.

තාරුණ්‍යට මේ පොදු සමාජ පණිවුඩය දායාදවන්නේ කුඩා කල පටන්මය. පවුල, පාසල ආදී මූලික සමාජ සංස්ථාවල පටන් උපකාරක පන්තිය, සරසවිය ආදී සෙසු සමාජ ආයතන දක්වාම මේ පණිවුඩය යහමින් ලබා දේ. ඉතාම උත්ප්‍රාසජනක කාරණය වන්නේ මෙම තරග කිරීමේ පණිවුඩය ලබන තාරුණ්‍යට ඒ අතරේම ආගමික සංස්ථාව තුළදී අල්පෙච්ඡබව සුභර බව යනාදී වශයෙන් පැවසෙන සරල චාම් ජීවන පැවැත්ම ගැන ද දහම් පණිවුඩ ලැබීමය. එහෙත් පොදුවේ සමාජය නිරීක්ෂණය කරද්දී හොඳින් මුල් අල්ලාගෙන ඇත්තේ කාගේ පණිවුඩය ද යන්න ඕනෑ කෙනකුට පහසුවෙන් තේරුම්ගත හැකිය.  බුදුරදුන් වදාළේ පුද්ගල විමුක්තිය ගැනය. කාල් මාක්ස් කීවේ සමාජ විමුක්තිය ගැනය. අරමුණ ඉටුකරගැනීමේදී මාර්ග වශයෙන් දෙමගක් ගත්ත ද පොදුවේ අවසාන ප්‍රතිපඵලය විමුක්තියය. සේකර කීවේ පාන් බාගයක් ගන්නට බස් රියකට ගොඩවන්නට තරග කරන සටන් කරන සමාජයක ධර්මය වගාකළ නොහැකි බවය. බඩගින්නේ සිටින්නන්ට බණ කීමේ නිරර්ථක බව පෙන්වාදුන්නේ බුදු රදුන්මය. සමාජයක් හැටියට මේ උපදෙස් ගැන ගරුකටයුතු ලෙස කතා කළ ද ක්‍රියා කරනවිට දී නම් පෙර කී ලෙසින්ම අපේ සමාජ සංස්ථාවල භාවිතය සැහැසිය. පළමු වසරට දරුවා ඇතුළත් කරගැනීමේ පටන් පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී ශිෂ්‍ය ජීවිතයේ සියලු කඩයිම් ඊට හොඳම නිදසුන්ය. 

තරගයේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ජයග්‍රාහකයකු මෙන්ම පරාජිතයකු බිහිකිරීමය. එහෙත් වත්මන් සමාජය තුළ ඇති තරගය මඟින් ජනිතවන්නේ ක්‍රීඩා තරගයක අවසානයේ අත්විඳිනාකාරයේ ප්‍රතිඵලයක් නම් නොවේ. ඊට හේතුව නම් ක්‍රීඩා තරගයකදී පවතින තරග කොන්දේසි සමාජයීය තරගයේදී අදාළ නොවීමය. ඊට විනිසුරෝ ද නොවෙත්. උපරිම කළහැක්කේ ප්‍රතිපල අවසානයේදී පොදු විවේචනයකට යෑම හෝ ශෝක වීමය. වෙළෙඳපොළ ක්‍රමය තුළ තරගය යනු සෑම අවස්ථාවලම සාධාරණ කොන්දේසි යටතේ සිදුවන්නක්ම නොවේ. අධ්‍යාපන හිණි මඟ දිගේ ඉහළ නගින්නට වෙර දරන තාරුණ්‍ය ආර්ථික පීඩනයේ ජීවන මගේ අතරමඟ විවිධ මංසන්ධිවලින් නතරවීම ලංකාවේදී ඊට ඇති හොඳම නිදසුනයි. 

අම්මා තාත්තා පාසල් ගුරුතුමිය පටන් සියලු දෙනා විසින් ජීවිතය ගොඩදාගැනීමේ කලාව ගැන කියද්දී පොදුවේ දෙන උපදෙස බවට පත්වෙමින් තිබෙන්නේ ගේම් එක හරියට ගහපන් යන්නය. බහුභාණ්ඩික වාණිජ ජීවන රටාව විසින් ද කුඩා කල පටන්ම ඇතිකරනු ලබන හැඟීම ද ඒ හා සමඟ සමපාත වූ කළ දියුණු පමුණුවන්නේ ද තනියෙන් බුදුවෙම්හයි යන සිතුවිල්ලමය. එහෙත් තිත්ත ඇත්ත වන්නේ එසේ තනියෙන් බුදු වූ පිරිස සමාජයක් හැටියට සොයාගැනීම නොමළ ගෙයකින් අබ සෙවීම බඳු ව්‍යාජයක් බවය. ගේට්ටුවෙන් තාප්පයෙන් කාර් රථයෙන් රැකියාවෙන් බැලූ බැල්මටම එසේ බුදු වී ඇති බවක් පෙන්නුම් කරන්නන්ගේ පවා ඇතුළාන්තයට එබී බැලූ කළ ජීවිතයේ සතුට ගැන ඔවුන් කියන්නේ වෙනස්ම කතාවක් බවය. 

එනිසා තාරුණ්‍ය හැටියට මේ සමාජ යථාර්ථය අවබෝධ කරගැනීම මූලිකවම අප කළයුත්තකි. ඒ අන් කවරක්වත් නිසා නොව අනවරත ජීවන අරගලය තුළ කණාබල්ලන් ගසා කරන සටන් වෙනුවට අර්බුදය ඇත්තේ කොහිද යන්න තේරුම්ගන්නටය. සමාජ තරගය තුළ දී ඔබ විසින් ගෝත්‍රික ලෙස පරාජය කරනු ලබන අනෙකා කවුදැයි කෙදිනක හෝ ඔබ සිතාබැලුවේද? සහෝදර සහෝදරියනි, මදක් සිතන්න. මෙතෙක් ඔබ ලැබූ ජයග්‍රහණ සියල්ලම සාධාරණ ලෙස තරග කොට ලබාගත් ජයග්‍රහණම ද? පැරදුණේ කවුරුද?  ඔහු ද බොහෝදුරට ඔබ වැන්නෙකි. ජීවන අරගලයේ අසාධාරණ කොන්දේසි නිසාම පීඩාවට පත්වූවෙකි. ඉතින්, මේ තරගය තුළ අවසානයේ ජයග්‍රාහකයා පරාජිතයා කවුරුද? වසරක් අවසාන වන මොහොතේ ගෙවී ගිය දින තුන්සිය හැටපහේ ශේෂ පත්‍රය නැවත බලමුද? සින්දු හා පන්දු මැද එක්ස්ප්‍රස් වී ඇති ජීවිතයේ ශාන්ත බව ගැනත් මොහොතක් සිතමු.

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00